‘ස්ටාර් වෝස් සුරූපිනිය මව සමඟ අවසන් ගමනේ
2017-01-09 11:50:00
‘ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාව ශ්‍රී ලාංකේය සිනමා රසික පිරිස අතරත් අතිශයින් ජනප්‍රිය වූවකි. මෙම චිත්‍රපට මාලාව ගැන සඳහන් කළ විට සිහියට නැ‍ඟෙන රුවැති නිළිය කැරි ෆිෂර් පසුගිය 27 දා මෙලොවින් සදහටම සමුගත්තා.

ලන්ඩන් නුවර සිට ලොස් ඇන්ජලීස් නුවර දක්වා ගුවන් ගමනක යෙදී සිටිද්දී මතු වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ෆිෂර් අවසන් හුස්ම හෙලූ බවයි වාර්තා වූයේ. කෙසේ වෙතත් ඇතැම් පුවත් වාර්තා සඳහන් කළේ හෘදයාබාධය මතුවීමෙන් පසුව ඇයට ලොස් ඇන්ජලීස්හි රොනල්ඩ් රේගන් උක්ලා වෛද්‍ය මධ්‍යස්ථානය වෙතට ඇතුළත් කළ බවයි.

ඉන් පසුව ඇයට හුස්ම ගැනීම පහසු කිරීම සඳහා වෙන්ටිලේටරයක් සවිකළ බවත් මඳ වේලාවකින් ඇගේ හද ගැස්ම නතර වූ බවත් පැවසෙනවා. නමුත් ගුවන් මගියකු පැවසුවේ ෆිෂර් මියගියේ ගුවන් යානය තුළදීම බවයි.

කැරී ෆ්‍රාන්සස් ෆිෂර් උපත ලැබුවේ 1956 ඔක්තෝබර් 21 දා කැරොලිනා හි බර්බෑන්ක් නගරයේදීයි. ඇගේ මවුපියන් වූයේ සිනමා නළු නිළි යුවළක්. පියා, එඩී ෆිසර්. මව, ඩෙබී රෙනෝල්ඩ්ස්. ෆිෂර්ට වයස අවුරුදු 2ක්ව සිටිද්දී ඇගේ මව සහ පියා වෙන්වූවා.

පියා දෙවැනි වරට විවාහ කරගත්තේ කොනී ස්ටීවන් නම්වූ ජනප්‍රිය නිළියයි. එම විවාහයෙන් පසුව උපන් ජොඑලි සහ ට්‍රිෂියා, ෆිෂර්ගේ නැගණියන් වූවා. 1960 දී ෆිෂර්ගේ මව ඩෙබී, නැවත විවාහ වූයේ ව්‍යාපාරිකයකු වූ හැරී කාල් සමඟයි.

නමුත් ඔවුන් දෙදෙනා 1973 දී වෙන් වූවා. ඒ වන විට ෆිෂර්ගේ වයස අවුරුදු 17 යි. පාසල් වියේදී සම්භාව්‍ය සාහිත්‍ය කෘති කියැවීමටත්, කවි රචනා කිරීමටත් කැරී ෆිෂර් දැඩි ඇල්මක් දැක්වූවා.

1973 දී ලන්ඩන්හි Central School of Speech and Drama නාට්‍ය පාසලට ඇතුළත් වී නාට්‍ය කලාව හැදැරූ කැරී ෆිෂර්ගේ මුල්ම සිනමා රංගනය ඇතුළත් වූයේ 1975 දී තිරගත වූ ‘ෂැම්පූ’ නම් වූ හාස්‍යොත්පාදක චිත්‍රපටයටයි.

සුප්‍රකට ‘ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවට ඇය එක්වුණේ 1977 දීයි. එහිදී ඇයට මාක් හැමිල්ටන් සහ හැරිසන් ෆෝඩ් සමඟ රඟපාන්නට අවස්ථාව උදාවුණා.

කෙසේ වෙතත් ‘ස්ටාර් වෝස්’ චිත්‍රපටවල රඟපාද්දී ඇය සහ සංගීතඥයකු වන පෝල් සයිමන් අතර පැවැති පෙම් සබඳකම කෙළවර වූයේ දෙදෙනාගේ විවාහයෙන්. ඒත්, 1983 අගෝස්තු මාසයේදී ඇරැඹුණු එම විවාහ ජීවිතය පැවතුණේ 1984 ජූලි මාසය දක්වා පමණයි.

ෆිෂර්, මේ වසරක කාලය තුළ සයිමන් නිර්මාණය කළ ගීතමය වීඩියෝ දර්ශනවල රඟපා තිබෙනවා. සයිමන්ගෙන් වෙන්වූ ෆිෂර් ඉන් පසුව සමීප වූයේ බ්‍රයන් ලෝඩ් වෙතටයි.

ඔහුගේ ඇසුරින් ෆිෂර් මවු පදවිය ලැබුවා. බ්‍රයන් - ෆිෂර් යුවළගේ දියණිය, බිලී කැතරින් ලෝඩ්. මේ වන විට 24 වැනි වියෙහි පසුවන බිලී සිනමා නිළියක්. ෆිෂර් බොහෝ අවස්ථාවලදී පවසා ඇත්තේ බ්‍රයන් ලෝඩ් තමන්ගේ දෙවැනි සැමියා බවයි. එසේ වුවත් බ්‍රයන් ලෝඩ් සහ ෆිෂර් නීත්‍යනුකූලව විවාහ වී නැති බවයි පැවසෙන්නේ.

ෆිෂර්, තමන්ගේ තවත් සබඳකමක් සිය චරිතාපදානයෙහි සඳහන් කර තිබෙනවා. එහි ඇය ප්‍රකාශ කර ඇත්තේ ජනප්‍රිය නළු හැරිසන් ෆෝඩ් සහ තමන් අතර පෙම් සබඳකමක්, 1976 දී ‘ස්ටාර් වෝස්’ චිත්‍රපටය රූගත කරද්දී පැවතුණු බවයි.

ෆිෂර් සහ රිපබ්ලිකන් පක්ෂයේ මාධ්‍ය උපදේශකවරයකු වූ ග්‍රෙගරි ස්ටීවන්සන් අතර පැවැති සමීප සබඳකම ලොවට රහසක් වුණේ නැහැ. ස්ටීවන්සන් නිතරම ෆිෂර්ගේ නිවසට පැමිණ ඇයව හමුවී ඇති බව පැවසෙනවා.

පෙබරවාරි 26 දා ස්ටීවන්ස්, ෆිෂර්ගේ නිවෙස තුළදී මියගිය බවයි හෙළි වුණේ. මරණයට හේතුව අධික ලෙස කොකේන් සහ ඔක්සි කොටින් නම්වූ මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීම යැයි සඳහන් වුණා. මේ මරණයෙන් පසුව ඔහුගේ අවතාරය තම නිවසෙහි සක්මන් කළැයි ෆිෂර් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා.

ඉන් පසු අවස්ථාවකදී බී. බී. සී. සහ ඒ. බී. සී. චැනල සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවලදී ෆිෂර් තම ජීවිතයේ තවත් රහසක් හෙළි කළා. ඇය එහිදී පැවසුවේ තමන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවයි. මේ නිසා හටගත් මානසික තත්ත්වයන් වෙනුවෙන් ඇය විවිධ ප්‍රතිකාර ලබාගත් බවත් පැවසෙනවා.

කැරී ෆිෂර්, මේ දක්වා චිත්‍රපට 45කට පමණ සහ රූපවාහිනී වෘත්තාන්ත 47කට පමණ සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඇය ග්‍රන්ථ කර්තෘවරියක්. නවකතා 5ක් සහ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ 3ක් ද ඇය විසින් රචනා කරන ලද බව මෙහි සටහන් කළ යුතුයි.

කැරී ෆිෂර්ගේ අභාවයෙන් දිනකට පසුව තවත් ශෝකජනක පුවතක් වාර්තා වුණා. ඒ, ඇගේ මව වන ජනප්‍රිය නිළි ඩෙබී රෙනෝල්ඩ්ස්ගේ අභාවයයි. ඇය මිය යන විට 84 වැනි වියෙහි පසුවුණා.

1948 දී තිරගත වූ ‘ජූන් බ්‍රයිඩ්’ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිස චිත්‍රපට සහ ටෙලි වෘත්තාන්ත රැසක රඟපාමින් ‘ඇකඩමි’ ඇතුළු සිනමා සම්මාන රැසක්ම දිනාගන්නට මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය සමත් වුණා.

දියණිය, කැරී ෆිෂර්ගේ හදිසි අභාවයෙන් බලවත් සේ කම්පනයට පත්වූ ඩෙබී රෙනෝල්ඩ්ස්, දෙසැම්බර් 28 දා රෝහල්ගත කෙරුණේ ඇයට ඇතිවූ දරුණු අඝාත තත්ත්වයක් හේතුවෙන්. එදින සවස මෙලොවින් සමුගන්නට පෙර ඇය පවසා ඇත්තේ මෙන්න මේ වදනයි.... “මට කැරී ළඟට යන්න ඕනෑ!”
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks

Main page l   Hollywood Sinhala Articles    Hollywood Photos    

Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd