Upcoming Hollywood Films - 2017  ළඟදීම එනවා


2016-12-31 10:37:00
ජනප්‍රිය චිත්‍ර කතාවක චරිතයක් ගෞරවනීය තානාපති ධුරයකට නම් කිරීමට පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත්තේය. ලෝකයේ කාන්තාවන් හා යුවතියන් දිරිගන්වනු පිණිස එසේ ගෞරවනීය තානාපති ධුරයක් ලබා දුන්නේ ‘වොන්ඩර් වුමන්’ නමැති චිත්‍රකතා චරිතයටය. සටනේ අති දක්ෂ අමේසන් කාන්තාවක වූ වොන්ඩර් වුමන් 1941 දී විලියම් මෞල්ටන් මාර්ස්ටන් නමැත්තා විසින් නිර්මාණය කළ චරිතයකි. 1975 දී එම චිත්‍රකතා චරිතය පුංචි තිරයට පැමිණියේය. අධ්‍යක්ෂවරුන් කිහිප දෙනකුම ‘වොන්ඩර් වුමන්’ රීදී තිරයට ගෙන ඒමට දැරූ උත්සාහයන් අසාර්ථක වූයේය. පසුගිය වසරේ තිරගතවූ ‘බැට්මෑන් වර්සස් සුපර් මෑන්; ඩෝන් ඔෆ් ජස්ටිස්’ චිත්‍රපටයේ අතුරු චරිතයක් ලෙස වොන්ඩර් වුමන් මුලින් ම තිරයට ගෙන ආවේ අධ්‍යක්ෂ සැක් ස්නයිඩර් ය. එහි වොන්ඩර් වුමන් ලෙස රඟපෑ‍ෙව් ගැල් ගුඩොට් ය.

අප මෙතරම් ‘වොන්ඩර් වුමන්’ ගැන කතා කරන්නේ මන්ද? 2017 වසරේ තිරගත වීමට නියමිත හොලිවුඩ් චිත්‍රපට අතරින් ‘වොන්ඩර් වුමන්’ බෙහෙවින් ජනප්‍රිය විය හැකි යැයි අපට සිතෙන බැවිනි. අමේසන් රණ ශූරියක ගේ ඇඳුමෙන් සැරසී අහිංසකයන් වෙනුවට සටන් වදින ‘වොන්ඩර් වුමන්’ ලබන ජුනි 2 දා ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය. පැටි ජෙන්කින්ස් ගේ අධ්‍යක්ෂණයක් වන ‘වොන්ඩර් වුමන්’ හි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ගැල් ගැඩොට් ය.

වසර ආරම්භ‍ෙය්දී ම ලොව පුරා ජනප්‍රියත්වයට පත් චිත්‍රපට පෙළක අටවැන්න දැක බලා ගන්නට හොලිවුඩ් චිත්‍රපට රසිකයන්ට ඉඩ ලැබෙනු ඇත. ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් - 8’ එෆ්. ගැරි ග්‍රේ ගේ අධ්‍යක්ෂණයක් ලෙස රිදී තිරයට පිවිසෙන අතර එහි චාල්ස් තෙරන්, ඩ්වේන් ජොන්සන්, ස්කොට් ඊස්ට් වුඩ් හා වින්ඩීසල් වැනි නළු නිළියෝ රඟපාති.

රිදී තිරයට නැඟුණු තවත් චිත්‍රකතා චරිතයක් ලෙස ‘ස්පයිඩර් මෑන්’ හැඳින්වීමට පුළුවන. ‘ස්පයිඩර් මෑන්, හෝම් කමිං’ ද මේ වසර මුලදී තිරගත වීමට නියමිත චිත්‍රපටයකි. ජෝන් වොට්ස් ගේ නිර්මාණයක් වූ මෙහි ටොම් හොලන්ඩ් හා මරිසා ටොමෙයි ප්‍රධාන චරිත රඟපාති.ජාන තාක්ෂණය යටතේ දියුණු කළ වානරයා සීසර් වානරයන්ට නායකත්වය දෙමින් වනාන්තරයකට පලා ගියේය. එහෙත් මිනිසුන්ගේ නොමිනිස්කම් හමුවේ ඔවුනට එරෙහිව යුද වදින්නට මෙන්ම වානරයන් අතර බලඅරගලයට මුහුණ දෙන්නට ද සීසර්ට සිදු විය. එවැනි කතා පුවතක් අඩංගු වූ ‘ප්ලැනට් ඔෆ් දි ඒප්ස්’ චිත්‍රපට පෙළේ නවතම සිනමා පටය ‘වෝ ෆො ද ප්ලැන්ට් ඔෆ් දි ඒප්ස්’ 2017 වසරේ තිරගත වීමට නියමිත හොලිවුඩ් චිත්‍රපට අතර වෙයි.

කපිතාන් ජැක් ස්පැරෝ ද මේ වසරේ නැවත වතාවක් සිය රසිකයන් හමුවට පැමිණීමට අපේක්ෂාවන් පමා වෙමින් සිටියි. ප්‍රකට නළු ‍ජොනී ඩෙෆ් කපිතාන් ජැක් ස්පැරෝ ගේ චරිතයට පණ දුන්නේ ‘පයිරේට්ස් ඔෆ් ද කැරීබියන්’ චිත්‍රපට පෙළෙහිය. එහි නවතම චිත්‍රපටය ‘ඩෙඩ් මෙන් ටෙල් නෝ ටේල්ස්’ මේ වසරේ තිරගත වීමට නියමිතය.

‘කිංකොං ‘ චිත්‍රපට පෙළට අයත් නවතම සිනමාපටයක් ද 2017 වසර සඳහා වූ සිනමා පට පෝළිමේ තිබේ. ජෝර්ඩන් රොබට්ස් ගේ නිර්මාණයක් වූ මෙය නම් කර ඇත්තේ ‘කොං; ස්කල් අයිලන්ඩ්’ යනුවෙනි.

සම්මාන දිනූ ග්ලැඩියේටර් චිත්‍රපටය මෙන් ම ඒලියන්, අමෙරිකන් ගැන්ග්ස්ටර්, ප්‍රොමිතයස් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රිඩ්ලි ස්නෙට් ගේ නවතම සිනමා නිර්මාණය ‘ඒලියන්; කොවෙනන්ට් ලබන මැයි මස තිරගත වීමට නියමිතය. මයිකල් ෆාස්බෙන්ඩර්, කැතරින් වෝටර්සන්, නූමි රාපේස් ආදී නළු නිළියෝ එහි රඟපාති.

සුරංගනා කතා ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එන වෝල්ට් ඩිස්නි සමාගම 2017 වසරේදී ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන්නේ ‘බියුටි ඇන්ඩ් ද බීස්ට්’ චිත්‍රපටය සමඟිනි. බිල් කොන්ඩන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි එමා වොට්සන් හා ඩැන් ස්ටීවන්ස් රඟපාති.

‘ද මමි’ චිත්‍රපටය මුල්වරට නිපැයෙන්නේ 1932 දීය. නැවතත් 1959 දීද මෙහි නව නිෂ්පාදනයක් තිරගත විය. ඉන්පසු තවත් නව නිෂ්පාදනයක් ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට ලැබුණේ 1999 දීය. එහි දිගුවක් ‘ද මමි’, රිටර්න්ස් (2001) හා ‘ද මමි; ටූම්බි ඔෆ් ද ඩ්‍රැගන් එම්පරර් (2008) ද සාර්ථක ලෙස ලොව පුරා ප්‍රදර්ශනය විය. ප්‍රකට නළු ටොම් කෲස් රඟන ‘ද මමි’ නවතම නිෂ්පාදනයක් මේ වසරේ ජුනි මස මුලදී තිරගත වීමට නියමිතය. ඇලෙක්ස් කර්ට්ස්මන් ගේ නිර්මාණයක් වූ ‘ද මමි’ හි ටොම් සමඟ සොෆියා බෞටෙලා, ඇනාබෙලෙ වෝල්ස් හා රසල් ක්‍රෝ වැනි නළු නිළියෝ රඟති.

හිටපු ඔත්තුකරුවකු වන ජෝන් වික් ගේ වික්‍රමයන් රැගත් එනමින් යුත් චිත්‍රපට පෙළේ දිගුවක් ‘ජෝන් වික් - චැප්ටර් 2’ යන නමින් 2017 වසරේදී තිරගත වීමට නියමිතය. ජනප්‍රිය නළු කීනු රීව්ස් ජෝන් වික් ලෙස රඟන මෙය චැඩ් ස්ටගෙස්කි ගේ අධ්‍යක්ෂණයකි.

අඟහරු ග්‍රහයා මත ජීවීන් සිටිත් ද? එය මානවයා‍ෙග් සිත්හි සියවස් දෙක තුනක් තිස්සේ තිබූ පැනයකි. 2017 වසරේ රිදී තිරය මතදී නම් අඟහරු ග්‍රහයා මත ජීවීන් සිටින බව සොයාගනු ඇත. ඒ ‘ලයිෆ්’ හරහාය. අන්තර්ජාතික අභ්‍යවකාශ යානයක් අඟහරු වෙත ගමන් කරන අතර එහි කාර්ය මණ්ඩලය සොයා ගනු ලබන්නේ ඒ මත ජීවීන් සිටින බවය. ඉන්පසු සිදුවන්නේ කුමක්දැයි දැන ගන්නට ‘ලයිෆ්’ චිත්‍රපටය නැරමිය යුතු වන අතර එය ඩැනියෙල් ස්පිනෝසා ගේ නිර්මාණයකි.

කාලය හරහා ගමන් කළ හැකි ද යන්න ද මානවයාගේ මනසට කාලයක් තිස්සේ වද දෙන ගැටලුවකි. එහෙත් අපට පුංචි තිරයේදී මෙන් ම රිදී තිරයේදී ද කාලය හරහා ගමන්ගන්නෝ හමුවෙති. 2017 වසරේදී අපට රිදී ති‍රයෙන් හමුවන කාල සංචාරකයා වැලේරියන් ය. ලුක් බෙන්සන් ගේ සිනමා නිර්මාණයන් වූ ‘වැලේරියන් ඇන්ඩ් ද සිටි ඔෆ් අ තවුසන්ඩ් ප්ලැනට්ස්’ සිනමා රසිකයන් වෙත අමුතු ම සිනමා අත්දැකීමක් ගෙන එනු නිසැකය.

‘ස්ටාර් වෝස්’ චිත්‍රපට පෙළේ තවත් කොටසක් ද මේ වසරේ තිරගත වීමට නියමිතය. 2015 වසරේ තිරගත වූ ‘ස්ටාර් වෝස්; ද ෆෝස් අවේකන්ස්’ චිත්‍රපටයෙන් වඩාත් විශාල හා බිහිසුණු ලොවකට පා තැබූ රේ තම වීර චාරිකාව තවදුරටත් සිදුකරන්නේ ෆින්, ෂෝ සහ ලූක් ස්කයිවෝකර් වැන්නන්ගේ උපකාර ඇතිවය. රියන් ජොන්සන්ගේ සිනමා නිර්මාණයක් වන ‘ස්ටාර් වෝස්; එපිසෝඩ් VIII හි කැරී ‍‍ෆිෂර්, ටොම් හාඩි, ඩේසි රිඩ්ලේ ආදීහු රඟති.

ඇත්තෙන් ම 2017 වසර සඳහා හොලිවුඩ් චිත්‍රපට රාශියක් ම පෙළගැසී සිටියි. මෙම ලිපියේ සඳහන් වන්නේ ඒවායින් තෝරාගත් චිත්‍රපට කිහිපයක තොරතුරු පමණි. හොලිවුඩයට නොදෙවැනි බොලිවුඩය මේ නව වසරේ සිට රසිකයන් වෙත තිළිණ කරන චිත්‍රපට මොනවාදැයි අපි ලබන සතියේ කියවමු.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks

Main page l   Hollywood Sinhala Articles    Hollywood Photos    

o
Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd