Home / හොලිවුඩ් ගොසිප් / ෆෝකි සමඟ අලුත් වන ටෝයි ස්ටෝරි 4

ෆෝකි සමඟ අලුත් වන ටෝයි ස්ටෝරි 4

2019-07-06 12:16:00       695
feature-top
ඇන්ඩි දඟකාර කොලු පැටියෙකි. වැලි කෙළියේ පටන් ඔහුත් සෙල්ලම් බඩුත් ඉදිකටුව සහ නූල මෙන් සමීප විය. මේ සෙල්ලම් බඩු රාජධානියේ සුවිශේෂී ක්‍රීඩා භාණ්ඩය වූයේ වූඩි නම් බෝනිකි සුරතලාය. ඇන්ඩි නොමැති වේලාවට අජීවී සෙල්ලම් බඩු සජීවී බවට පත්වෙයි. වූඩි වඩාත් කැමැති සෙල්ලම් බඩුවක් ලෙස දිවි ගෙවීමටය. ඇන්ඩිගේ පවුල නිවෙස මාරු කරන අතර එහිදී ඔහුගේ උපන් දිනයට මවගෙන් අලුත් සටන් වීරයකු බස් ලයිට්ඉයර් තෑගි ලැබෙයි. බස් තමන් සෙල්ලම් බඩුවක් කියා නොසිතන අතර ඉක්මනින්ම ඇන්ඩිගේ ප්‍රියතම සෙල්ලම් බඩුව බවට පත්වෙයි. වූඩි ඊර්ෂ්‍යාවෙන් පිරී යන අතර බස් පලවා හැරීමට නොගන්නා උත්සාහයක් නැත. අවසන සිදුවන්නේ වූඩි සහ බස් අතරමං වීමය. දෙදෙනාටම ඇන්ඩි සොයා යාමට සිදුවෙයි. එහෙත් ඒ අණක් ගුණක් නැති සෙල්ලම් බඩු ඝාතකයකු වන සිඩ් පිලිප්ස්ගේ අඩවිය පසුකරමින්ය. 1995 ටෝයි ස්ටෝරි පරිගණක සජීවීකරණ සිනමා නිර්මාණාවලිය ඇරඹුණේ එලෙසිනි. එහි දැවැන්ත සාර්ථකත්වය දෙවැන්නකට පිඹුරුපත් සැකසීය. 1999 තිරගතවූ ටෝයි ස්ටෝරි 2 හිදී වූඩි කෑදර සෙල්ලම් බඩු සොරකම් කරන්නකුවූ අල් මැක්විගින් විසින් සොරකම් කරනු ලැබිණි. බස් ප්‍රධාන සෙල්ලම් බඩු පෙළ ගැසෙන්නේ වූඩි බේරා ගැනීමටය. පළමු වැන්නට වඩා දෙවැන්න සාර්ථක විය.

ටෝයි ස්ටෝරි 3 වසර 2010 දී තිරගතවූ අතර එහිදී සෙල්ලම් බඩු සියල්ල වැරුදීමකින් දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට කඩා වැටෙන්නේ ඔවුනගේ අයිතිකරු පාසල් අධ්‍යාපනයට සූදානමින් සිටියදීය. සිනමා පටය ලොකු කුඩා රසිකයන් කෙතරම් සාදරයෙන් වැළඳ ගත්තා ද කිවහොත් එය ඩොලර් බිලියනය ඉක්මවා ආදායමක් ලද ලොව ප්‍රථම පරිගණක සජීවීකරණ සිනමා පටය බවට පත් විය.

මිනිත්තු 100ක් දිගු ටෝයි ස්ටෝරි 4 හොලිවුඩ් සෙල්ලම් බඩු කතාවේ නවතම පෙරළිකරුයි. එමෙන්ම ටෝයි ස්ටෝරි සිනමා මාලාවේ අවසන් සිනමා පටයයි. වූඩිගේ කණ්ඩායමට ෆෝකි නමින් නවතම සාමාජිකයෙක් එක් වෙයි. ෆෝකි සමඟ ඔවුන් මාවතේ කරන සංචාරයේදී සෙල්ලම් බඩුවකට ලොව කෙතරම් විශාල තැනක්දැයි දැනගනී. ආදරණීය සෙල්ලම් බඩුවල සිතිවිලි ලොවට පිවිසීමට ජූනි 21වැනිදා සිට ප්‍රේක්ෂකයන්ට වරම් ලැබී තිබේ. සිනමා පට හතරේම සංගීතය රැන්ඩි නිව්මන්ගේය. ටොම් හෑන්ක් ( වූඩි ලෙස ), ටිම් ඇලන්බස් ( ලයිට්ඉයර් ), ඇනී පොට්ස් ( බෝ පීප්‍ ), ටෝනි හේල් ( ෆෝකි ) ඇතුළු නළු නිළි පිරිසක් සිනමා පටයට හඬ කැවීමෙන් දායකවී තිබේ. අධ්‍යක්ෂණය ජොෂ් කූලේ ගෙනි. පෙර සිනමා පට තුනට ද වඩා තිරගත වීමට පෙර ටිකට් අලෙවියෙන් ටෝයි ස්ටෝරි 4 මේ වන විටත් පෙරමුණ ගෙන සිටියි.

More News »