Home / හොලිවුඩ් ගොසිප් / දැවැන්ත සිතු­ව­ම්පට

දැවැන්ත සිතු­ව­ම්පට

2019-01-05 11:55:00       662
feature-top
අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇතැම් හොලිවුඩ් චිත්‍රපට රූගත කෙරුණේ ඒ වෙනුවෙන් ම නිර්මාණය කළ විශේෂ දර්ශන තලවලදී බව ඔබ දන්නවා. ඒ අතරින් දශක කිහිපයක් ගත වුව ද තවමත් මතකයේ රැඳුණු චිත්‍රපට රැසක්ම තිබෙනවා. 1880 දී ලිව්වොලස් රචනා කළ ‘බෙන්හර්’ නවකතාව ඇසුරින් නිර්මිත ‘බෙන්හර්’ එවැනි චිත්‍රපටයක්. 1959 දී තිරගතවූ විලියම් වයිලර් අධ්‍යක්ෂණය කළ මෙම‍ ඓතිහාසික වීර කාව්‍යාත්මක චිත්‍රපටය වෙනුවෙන් එකල ඩොලර් මිලියන 15.175 ක මුදලක් වැය කර තිබෙනවා.

මෙහි රඟපෑ නළු නිළියන් වෙනුවෙන් ඇඳුම් නිර්මාණය කිරීමට සිය දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් ද, තවත් කලා ශිල්පීන් සිය දෙනෙක් ද යොදවා ගෙන තිබෙනවා. 1958 මැයි 18 දා ඇරැඹුණු මෙහි රූගත කිරීම් අවසන් වී ඇත්තේ 1959 ජනවාරි 7 දායි. මෙම චිත්‍රපටය වෙනුවෙන් පලස්තීන ගම්මානයක අක්කර 18 ක් පුරා ජෙරුසෙලම යළි නිර්මාණය කර තිබුණා.

මෙවැනි දර්ශන තලයක් ඊට පෙර කිසිදු චිත්‍රපටයක් වෙනුවෙන් නිර්මාණය කර තිබුණේ නැහැ. මෙම නගරය ප්‍රතිනිර්මාණය කිරීමට දහසකට වැඩි ශ්‍රමික පිරිසක් යොදවා ගෙන තිබෙනවා.

මෙහි ඉදි කෙරුණු අශ්ව රථ ධාවන පිටිය අඩි 1,500 ක් ප්‍රමාණයකින් යුතු වූවා. ප්‍රධාන මණ්ඩපය තට්ටු 5 කින් සමන්විතයි. නිෂ්පාදන කණ්ඩායමේ උත්සාහය වූයේ ඉපැරැණි රෝමයේ භාවිතා වූ නියම තුරඟ තරග ධාවන පථයක් නිර්මාණය කිරීමයි.

නමුත් නිවැරැදි අයුරින් එවැන්නක් නිම කිරීම අසීරු වුණා. කෙසේ වෙතත් තිබෙන සම්පත් උපයෝගී කරගෙන තුරඟ තරග පථයක් නිර්මාණය කිරීමට හැකිවුණා. මෙම ධාවන පථයේ අතුරන ලද්දේ මධ්‍යධරණී මුහුදු වෙරළෙන් ලබාගත් ටොන් 36,000 ක පමණ වැලි තොගයක්. අශ්ව රථවලට යොදාගත්තේ ඔස්‍ට්‍රියාවේ ‘ලිවිසාන්’ නම්වූ විශේෂිත අසුන් වර්ගයක්.

මේ වර්ගයේ අසුන් 72 ක් 1957 දී යුගෝස්ලාවියාවෙන් සහ සිසිලි දූපත්වලින් ආනයනය කර තිබෙනවා. ධාවන පථයේ අශ්ව රථ පැදවීම අවදානම් වූ ක්‍රියාවක් නිසා අනතුරු සිදුවුවහොත් ප්‍රතිකාර ලබාදීමට විශේෂ කාමර, වෛද්‍යවරුන් දෙදෙනකු සහ හෙදියන් දෙදෙනකුගේ සේවය සූදානම්ව තිබුණා. අශ්ව රථ ධාවන දර්ශන රූගත කිරීමට මාස 3 ක පමණ කාලයක් ගතවී තිබෙනවා.

මේ දර්ශන රූගත කරද්දී එහි රඟපෑ ස්ටන්ට් නළුවෙකු වූ ජෝ කානට් අශ්ව රථයකින් විසිවී ගොස් බිම ඇද වැටුණා. සිදුවන්නට ගිය මාරක අනතුරෙන් ගැලවුණු ඔහු, සුළු තුවාල ලැබුවා. රූගත කිරීම්වලදී බරපතළ අනතුරු සිදු නොවුණත් එම දිනවලදී හෘදයාබාධයකට ගොදුරු ව‍ූ චිත්‍රපටයේ විධායක නිෂ්පාදක සෑම් සිම්බලිස්ට්, රෝමයේ දී අවසන් හුස්ම හෙලුවා.

1959 දී තිරගත වූ ඇකඩමි සම්මාන දිනාගත් මේ චිත්‍රපටයට පෙර 1907 දී ‘බෙන්හර්’ නමින් නිහඬ කෙටි චිත්‍රපටයක් සහ 1925 දී තවත් නිහඬ චිත්‍රපටයක්ද නිර්මාණය වුණා. ‘බෙන්හර්’ 2003 දී සජීවීකරණ චිත්‍රපටයක් ලෙස ද 2016 දී තවත් වෘත්තාන්ත චිත්‍රපටයක් ලෙස ද තිරගත වුණා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »