Home / හොලිවුඩ් ගොසිප් / කුතු­හ­ලය ත්‍රාසය වීර­ත්වය පිරුණු Jurassic Worid: Fallen Kingdom

කුතු­හ­ලය ත්‍රාසය වීර­ත්වය පිරුණු Jurassic Worid: Fallen Kingdom

2018-06-12 10:36:00       177
feature-top
මයිකල් ක්‍රිච්ටන් විශ්ව ප්‍රජාවම මෙසසොයික යුගයේ දෙවැනි යුගය වු ජුරාසික් යුගයට රැගෙන ගියේය. ඒ අ‍ෙප් සොබා සොඳුරු පරිසරය ඩයිනෝසරයන් නම් යෝධ සත්වයන්ගෙන් දෙදරුම් කෑ කාලවකවානුවයි. ඔහුගේ ජුරාසික් පාක් නවකතාව තිරයේ ජීවමාන වීමට එතරම් කාලයක් ගත වුයේ නැත. 1990 රචිත මේ විද්‍ය ප්‍රබන්ධ නව කතාව ස්ටීවන් ස්පීල්බර්ග් නම් මහා සිනමා වේදියා විසින් 1993 දී හොලිවුඩ් සෙලියුලොයිඩ් පටයට ගෙන එන ලදී. ඒ ‘ජුරාසික්පාක්’ නමිනි. සිනමා පටය බිලියනයකට අධික ආදායමක් ලබමින් අති සාර්ථක වු අතර ‘දලොස්ට්වර්ල්ඩ්’ ජුරාසික් පාක්, ජුරාසික් පාක්III, ජුරාසික් වර්ල්ඩ්, නමින් චිත්‍රපට පෙළක්ම ඊට එක්විය. 2018 වසරේ ජුනි 22 වැනිදා තිරගත වන්නේ ජුරාසික් වර්ල්ඩ් - ෆෝලන් කින්ඩම්ය. ඒ ප්‍රථම සිනමා පටය තිරගතවී විසි පස් වසරකට පසුවය.

මුල්ම සිනමා පටයේ අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීක් බර්ග් මෙහි විධායක නිෂ්පාදක වරයෙකි. මධ්‍යම අමෙරිකාවේ පැසිෆික් වෙරළාසන්නව පිහිටි ඉස්ලානුබ්ලාර් කල්පිත දුපත ආශ්‍රිතව කතාව ගෙතී තිබේ. ජුරාසික් වර්ල්ඩ් තේමා උද්‍යානයේ විනාශයත් සමඟ වෙලෝසිරප්ටර්ස් නම් ඩයිනෝසරයෝ නිදහසේ කරක් ගැසුහ. ඔවුනගේ නිදහස අහිමි වුයේ ගිනිකඳු පිපිරීමේ පෙර නිමිති පහළ වීමත් සමඟය. හිටපු ජුරාසික් වර්ල්ඩ් මෙහෙයුම් කළමනාකරු ක්ලෙයාර් ඩියරිං මේ සද්දන්තයන් විශේෂ දාහතරක් බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කළේ සංවිධානයක් ද පිහිටුවා ගනිමිනි. ඔහුට මේ භය­ානක, බුද්ධිමත් වඳවීගෙන යන සත්ව විශේෂය බේරාගත හැකි වේවිද?

කුතුහලය, ත්‍රාසය , වීරත්වය කැටිවුණු අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ සිනමාපට මාලාවේ පස්වැන්න, නවතම නිර්මාණය ‘ජුරාසික් වර්ල්ඩ් ෆෝලන් කිංඩම්’ ට මුල පිරුණේ 2014 වසරේදීය. කතා රචක කොලින් ට්‍රෙවොරෝ, ක්‍රිස් පැට් ඉදිරි ජුරාසික් පාක් සිනමා පට සඳහා අත්සන් තබා ඇති බවත් සිනමා පටයට විවිධත්වයක් දීම සඳහා විවිධ අධ­්‍යක්ෂවරු ඉදිරි සිනමා පට අධ්‍යක්ෂණය කරනු ඇති බවත් ඔහු දැන්වීය. වසර 2015 දී යුනිවර්සල් සමාගම ත්‍රාසජනක සිනමා නිර්මාණ කිරීමට වඩාත් ප්‍රකට ජේ.ඒ. බයෝනා පස්වැන්න අධ්‍යක්ෂණය කිරීමට තෝරා ගත්තේය. කලින් සිනමාපට ගණනාවකම තරු යළිත් නවතම සිනමා පටයෙන් දැක ගත හැකිය. මින් පෙර ස්පාඤ්ඤ ජාතිකයකු ‘ජුරාසික් පාක්’ සිනමා පටයක් අධ්‍යක්ෂණය කර නැත.

බයෝනා තෝරාගන්නා ලද්දේ තිර රචක ට්‍රෙවෝරෝ විසිනි. 2007 බයෝනා අධ්‍යක්ෂණය කළ ත්‍රාස ජනක සිනමාපටය ‘ද ඕෆනේජ්’ නැරඹීමෙන් පසු ට්‍රෙවෝරෝගේ සිතේ මුලින්ම සනිටුහන්වු අදියුරුවරයා වුයේ බයෝනාය. බ්‍රිතාන්‍යයේ සිදු කෙ‍රුණු සිනමා පටයේ රූගත කිරීම් බොහෝමයක් දර්ශනතලවලට සීමා විය. කලින් නොදුටු ඩයිනෝසර් වර්ග මෙහි දැකිය හැකිවිය. සතුන් බෝට්ටුවෙන් රැගෙන යන දර්ශන ඉක්වදෝර් හා පේරු ර‍ාජ්‍යවල සිදු කෙ‍රිණි. බොහොමයක් දර්ශන තල තෝරා ගන්නා ලද්දේ පළමු ‘ජුරාසික්පාක්’ සිනමා පටයේ අධ්‍යක්ෂ ස්පීල්බර්ග් විසිනි හවායි සහ බ්‍රිතාන්‍ය‍යේ රූගත කිරීම් සිදු කරන කාලයේ ජුරාසික් වර්ල්ඩ් : එන්ෂන්ට් ෆියුචර්ස් ලෙසින් සිනමා පටය නම්කර තිබිණි.

ජුරාසික් වර්ල්ඩ් : ෆෝලන් කිංඩම් නිර්මාණයට එක් වී සිටි බහුතරයක් කලින් සිනමාපට මාලවේ කලින් නිර්මාණවලට දායක වුවන්ය. එහෙත් නවතම සිනමා පටයෙන් දොරට වඩින නවක තරු ද සිටිති. බෙන්ජමින් ලොක්වුඩ්ගේ මිනිබිරිය නව හැවිරිදි මෙයිසී ලොක්වුඩ්ගේ චරිතයට ගැහැණු ළමයින් 2,500 ක් සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ සිටියහ. අවසානයේදී ඒ සඳහා තෝරා ගන්නා ලද්දේ ඉසබෙලා සර්මන්ය.

ක්‍රිස් පැට්ට 2015 වසරේ ජුරාසික් සිනමා පට මාලාවේ රඟන්නට ලැබීම සැබෑම වාසනාවක් විය. සිනමා පටය ඩොලර් බිලියන 1.6 ඉක්මවා ආදායම් ලැබීය. ‘ඕවන් ග්‍රේඩි’ චරිතයට ඔහු දෙවැනි වරටද දායක වන්නේය. ක්ලැරී බ්‍රයිස් ඩලස් හෝවර්ඩ්, වෛද්‍ය හෙන්රි වු බී.ඩී.වොං ද අලුත් සිනමා පටයේ සුපුරුදු චරිතයි.

එලී මිල්ස්ට රඟන රේෆ් ස්පෑල්, ෆ්‍රෑන්ක්ලින් වෙබ්ට රඟන ජස්ටිස් ස්මත්, සියා රොඩ්රි ගුවස්ට රඟන ඩැනියෙලා පිනේඩා, බෙන්ජමින් ලොක්වුඩ්ට රඟන ජේම්ස් ක්‍රොම්වෙල්, ගුන්නාර් එවර්සෝල්ට රඟන ටොබී ජෝන්ස් කෙන් වීට්ලිට රඟන ටෙඩ් ලෙවින්, ජුරාසික් පාක් සිනමාවලියට නවකයන්ය. හැන්තෑ තුන් හැවිරිදි ජෙරල්ඩීන් චැප්ලින් සිනමා පටයට එක්වන්නේ ප්‍රථම වරටය.

ජෙරල්ඩීන් චැප්ලින්, චාලි චැප්ලින් නම් ලෝක පුජිත රංගධරයාගේ සිව්වැනි දරුවායි.

කොලින් ට්‍රෙවොරෝ “ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කිංඩම්” නවතම වික්‍රමයේ දැවැන්ත කොටස්කරුවෙකි. ඔහු පවසන්නේ සිනමා පට මාලාවක් නිර්මාණය කිරීම පහසු නොවන බවයි. මෙය පණිවුඩ සමාජගත කරන සිනමාකෘතියක් නොවුණද ඩයිනෝසර් - මිනිස් සබඳතාව, පරිසරය හා මිනිසා අතර ඇති සබඳතාව කියාපායි.

සිනමා පටයේ අවසානය, අවසානයක් නොවන බව තවත් සිනමා පටයක් පිළිබඳ ප්‍රෙක්ෂක බලාපොරොත්තු දල්වන්නක් බවට මේ වන විටත් අදහස් ප්‍රකාශ වී අවසන්ය. සැබෑවටම යළි යළිත් ප්‍රේක්ෂකයන්ගේ ‘ජුරාසික් පාක්’ සිහිනය සැබෑවනු ඇත.

මෙය ජුරාසික් පාක් සිනමා පට මාල‍ාවේ පස්වැන්න වුවත් 2015 වසරේ තිරගත වු ‘ජුරාසික් වර්ල්ඩ්’ සිනමා පට ත්‍රිත්වයේ තෙවැන්නයි.

2015 වසරේ දී තිරගත වු ‘ජුරාසික් වර්ල්ඩ්’ සිනමා පටය සංගීතවත් කළ සම්මානනීය සංගීතඥ මයිකල් ගියාචිනෝ මෙවර සිනමා පටයේද තනු නිර්මාණය කර ඇත.

මේ වන විට සිනමා ට්‍රේලරය ප්‍රේක්ෂක කුතුහලය අවදිකර අවසන්ය. 2017 වසරේ දෙසැම්බරයේදී කළ සමීක්ෂණයකට අනුව ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කිංඩම් 2018 වසරේ ප්‍රේක්ෂක හොලිවුඩ් බලාපොරොත්තුව වී ඇත. එමෙන්ම ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලද එම සිනමා පට මාලාවේ සිනමා පටය බවටද මෙය පත්වී අවසන්ය . රොට්න් ටු මැටෝස් අනුව සියයට 99 ක් ද අයිඑම්ඩීබී අනුව ප්‍රථම ජුරාසික් සිනමා පටයටද වඩා වැඩි මනාපයක් මෙය හිමි කරගෙන තිබේ.

සිනමා පටයේ පුර්ව දර්ශනය 2018 මැයි 21 වැනිදා ස්පාඤ්ඤයේදී තිරගත විය. එය අමෙරිකාවේ ජුනි 22 වැනිදා තිරගත වේ. බවුන්ඩරිස්, ඩිස්ටෝටඩ්, ද කැචර් වෝස් අ ස්පයි, හොලිවුඩ් සිනමාපට ද තිරගත වන්නේ එදිනටය.

මිනිත්තු 128 කදී ‘ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කිංඩම්’ හෙවත් ‘ජුරාසික් ලෝකය : බිඳ වැටුණු රාජධානිය’ දැවැන්ත ඩයිනෝසරයන් ක්‍රිස් ප්‍රැට්, බ්‍රයිස් ඩලස්, රේෆ් ස්පැල් වැනි රංගන ශිල්පීන් සමඟ ඔබ රැගෙන යාමට සුදානමින්ය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »