Home / හොලිවුඩ් ගොසිප් / දෙවැනි ජේම්ස් බොන්ඩ් සමුගනී


දෙවැනි ජේම්ස් බොන්ඩ් සමුගනී


2017-06-07 09:34:00       671
feature-top
ජේම්ස් බොන්ඩ් චරිතය මොන සිනමා රසිකයා ද නොදන්නෙ? ඉයන් ෆ්ලෙමින් කතා රචකයා සිනමා ලොවට බිහිකළ මේ චරිතය කේන්ද්‍ර කරගෙන ජේම්ස් බොන්ඩ් චිත්‍රපට රැසක් බිහි වුණා. මුලින්ම ජේම්ස් බොන්ඩ් ලෙස රඟපෑවේ ෂෝන් කොනරි. ඊළඟට මේ චරිතයට පණ දුන්නේ රොජර් මුවර්.

මේ සුපිරි රංගන ශිල්පියා පසුගියදා මෙලොවින් සමුගත්තා. 1927 ඔක්තෝබර් 14 දා රොජර් ජෝජ් මුවර් ලෙස ලන්ඩනයේ ස්ටොක්වෙල් ප්‍රදේශයේදී ඔහු උපත ලැබුවා. ඔහුගේ පියා පොලිස් කොස්තාපල්වරයෙක්. මවගේත් පියාගේත් එකම පුත්‍රයා වූ ඔහු, කුඩා කාලයේ ගත කළේ ප්‍රීතිමත් ජීවිතයක්. ‘මයි වර්ඩ් ඉස් මයි බොන්ඩ්’ නමැති සිය චරිතාපදානයෙහි මුවර් සඳහන් කළේ කවදා හෝ සිනමා ලොවට පිවිසීමේ බලාපොරොත්තුවක් තමන් තුළ තිබූ බවයි.

1940 දශකයේදී නාට්‍ය කලාව පිළිබඳ රාජකීය ඇකඩමියෙන් රංගනය හැදෑරූ ඔහු 1950 දී සිනමාවට පිවිසුණේ සහාය නළුවකු හැටියටයි. රොජර් මුවර් නාමය ලොව පතල වූයේ 1960 දශකයේදී විකාශය වූ ‘ද සේන්ට්’ නම්වූ රහස් පරීක්ෂක කතා රැගත් ටෙලි නාට්‍ය මාලාවෙන්. (මෙම නාට්‍ය මාලාව 1985 දී මෙරට ස්වාධීන රූපවාහිනී සේවයෙන් අඟහරුවාදා දිනවල රාත්‍රියේ විකාශය වුණා.) මුවර්, ජේම්ස් බොන්ඩ් ලෙස මුලින්ම රඟපෑවේ 1973 දී තිරගත වූ ‘ලිව් ඇන්ඩ් ලෙට් ඩයි’ චිත්‍රපටයේ. ඉන් පසුව ඔහු ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 6ක රඟපෑවා. පසු කාලයේදී ‘යුනිසෆ්’ සංවිධානයේ සුහද තානාපතිවරයකු ලෙස කටයුතු කළ මුවර්, 2003 දී නයිට් නාමයකින් ද පිදුම් ලැබුවා.

ඔහු සිවු වරක් විවාහ වූ අයෙක්. මේ විවාහවලින් ඔහුට පුතුන් දෙදෙනකු සහ දියණියක සිටිනවා. මුවර් අවසන් වරට විවාහ කරගත්තේ ස්වීඩන් ජාතික කාන්තාවක්. ඒ. 2002 දී.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »