Home / හොලිවුඩ් ගොසිප් / ෂර්ලොක් හෝම්ස් ආපසු එයි

ෂර්ලොක් හෝම්ස් ආපසු එයි

2015-09-17 02:13:00       1045
feature-top
රහස් පරීක්ෂක ප්‍රබන්ධයන්හි පූර්වාදර්ශයක් වන ෂර්ලොක් හෝම්ස් චරිතය ගැන නොදන්නා රහස් පරීක්ෂක ප්‍රබන්ධ රසිකයෙකු ලොව සිටී දැයි සැක සහිතය. ෂර්ලොක් හොම්ස් චරිතය කෙතරම් ජනප්‍රියදයත් එය පාදක කොටගෙන ලොව පුරා විවිධ රටවල තැනුණු චිත්‍රපට, ගීත, පරිගණක ක්‍රීඩා ආදිය ද අති විශාලය.

මේ අතර මිච් කුලින් නම් අමෙරිකානු ලේඛකයා විසින් 2005 වසරේදී ලියවුණු ඒ Slight Trick of the Mind  නම් ප්‍රබන්ධය හෝම්ස් චරිතය සිය සැඳෑ කාලයේ අත්විඳින සිදුවීම් දාමයක් අළලා නිර්මාණය වූවකි. එයින් දස වසරකට පසු මෙම ප්‍රබන්ධය පාදක කොට ගනිමින් Mr. Holmes (මිස්ටර් හෝම්ස්) නමින් චිත්‍රපටයක් නිර්මාණය වූ අතර එය පසුගිය ජූනි මස එක්සත් රාජධානියේද ජූලි මස අමෙරිකා එක්සත් ජනපදයද ඇතුළුව ලොවපුරා රටවල් රැසක තිරගත වීම ආරම්භ කළේය. බිල් කොන්ඩොන්ගේ අධ්‍යක්ෂණයක් වන මිස්ටර් හෝම්ස්, ඇනී කෙරී, ඉයන් කානින්, එමිලි ෂර්මන්ගේ නිෂ්පාදනයකි.

ඇකඩම්, ගෝල්ඩන් ග්ලෝබ්, ප්‍රයිම්ටයිම් එමී සම්මාන ලාභී ප්‍රවීණ නළු 76 වියැති ඉයන් මැක්කෙලන් මෙහි සුප්‍රකට රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ගේ චරිතයට පණ පොවයි. මීට පෙර ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට මාලාවේ මෙන්ම එක්ස් මෙන් චිත්‍රපට මාලාවේදී ද මැකලීන් ප්‍රේක්ෂකයන්හට අමතක නොවන රංගනයන් ඉදිරිපත් කළේය. විනාඩි 104ක් පුරා දිග හැරෙන මිස්ටර් හෝම්ස් චිත්‍රපටය දැනට ලබා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 22.4කි. ලෝරා ලිනී, හයිරෝකි සනාඩා, මයිලෝ පාකර් ද මෙහි රංගනයෙන් දායක වෙති. සංගීත අධ්‍යක්ෂණය කාටර් බෘවෙල් විසින් සිදුකර තිබේ. IMDB දර්ශකයේ ලකුණු දහයෙන් 7.4ක් ලබා ඇති මිස්ටර් හෝම්ස් රොටෙන් ටෙමැටෝස් හි සියයට 87ක් සහ මෙටාක්‍රිට්ක් හි සියයට 67ක් වාර්තා කර ගැනීමට සමත් වී ඇත.

ඒ 1943 වසරයි. වසර ගණනාවකට පෙර විශ්‍රාම ගත් රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මහතා සිය ගෘහ පාලිකාව වන මුන්රෝ මහත්මිය හා ඇයගේ කුඩා පුතු රොජර් සමඟ පිටිසරබද සසෙක්ස් හි පිහිටි ගොව්පළක දිවි ගෙවයි. මේ ඉතා වයස්ගතව සිටින හෝම්ස්ගේ මතකයද කෙමෙන් වියැකී යන සමය යි. තමා නොවිසඳු අවසාන පරීක්ෂණය ගැන සිය මිතුරා වන වෛද්‍ය වොට්සන් ලියූ ප්‍රබන්ධාකාර වාර්තාව ගැන ඔහු සිටින්නේ නොසතුටිනි. හෝම්ස් විසින්ම එම පරිච්ඡේදය ලියා නිම කිරීමට වෑයම් කරයි. මඳ මතකය ඔහුට නිරතුරුවම බාධා කරන අතර තිස් වසරකට පෙර සිදු වූ මෙම පරීක්ෂණය විසඳීමට ඔහුගේ සහායට පැමිණෙන්නේ කුඩා රොජර්ය.

විචාරක පැසසුම් ලත් මිස්ටර් හෝම්ස් චිත්‍රපටයේ බොහෝ විචාරකයන් හෝම්ස් සහ කුඩා රොජර්ගේ සම්බන්ධතාවය ඉතා ඉහළින් අගය කර ඇත. වයෝවෘද්ධ හෝම්ස්ගේ චරිතය දක්ෂ ලෙස නිර්මාණය කර ඇති අතර රහස් පරීක්ෂක කතාවක ඇති අභිරහස් රසය සහ වයෝවෘද්ධ භාවය එක් වූ හැඟීම් මෙන්ම ගැටළු මනා ලෙස නිරූපිත අගනා කෘතියක් බව තවත් විචාරකයෙකුගේ අදහසයි.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »